Tuesday, October 15, 2019

අමුක්කරා ගෙනෙන ජීව ගුණය





උද්භිද විද්‍යාත්මක නාමය - Withania Sommijera
කුලය - Solanaceae

අමුක්කරා යනු ද්‍රවිඩ වහරකි. මෙය ආයුර්වේදයේ මෙන්ම දේශීය වෙදකමේද ප්‍රකට ඖෂධකි. තෙත් කලාපයේද දක්නට ඇතත් ප්‍රශස්ථ ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ වියළි කලාප වලය.
අඩි තුනහමාරක් හතරක් පමණ උසට වැඩෙන අමුක්කරා ශාකය ඉතා දීර්ඝ මුලකින් සමන්විතය. පදුරක් ලෙසින් වැඩෙනු දක්නට ලැබේ. කොළ පැහැති කුඩා මල් හට ගන්නා අතර රතු පැහැති ගෙඩි හටගනී. ව්‍යාප්තිය සුදුවන්නේ බීජ මගිනි.

අමුක්කරා ශාකයේ මුලෙන්, අශ්ව සිරුරෙන් නිකුත් වන ගන්ධය වහනය වන බැවින් ' අශ්වගන්ධ' යන නම ලැබී ඇත. අශ්ව මුත්‍රා වලින් නිකුත් වන් ගන්ධයට සමාන ගන්ධයක්, අමුක්කරා අලවලින් නිකුත් වන් බව සමහර පත පොතෙහි සදහන් වී ඇත. වියළි අල වල වුවද මද වශයෙන් එම ගන්ධය තිබෙන බව සදහන් වේ.

මේ කරුණු කාරණා නිසා අශ්වගන්ධා යන නම වචනයේ පරිසමාප්තයෙන්ම අර්ථාන්විතය. සාමාන්‍ය (ග්‍රාම්‍ය) මෙන්ම වල් අමුක්කරා යනුවෙන් ප්‍රභේද දෙකක් දක්නට ලැබේ. මෙම ප්‍රභේද දෙකෙහිම අල ආකාරයට වර්ධනය වන මුල් තිබේ. එක් ප්‍රභේදයක අලය අනෙකේ ස්වරූපයට වඩා වෙනස්ය.

ස්නායු උත්තේජනය කිරීමේ අපූර්ව ගුණයකින් අමුක්කරා අල පෝෂිතයි. වේදනා නසන, බඩගින්න වඩවන, ශරීරය පුෂ්ටිමත් කරන, නින්ද ඇතිකරන, රුධිරය පිරිසිදු කරන, මළ බද්ධය නසන ඖෂධීය ගුණයන්ගෙන් යුක්තය. ශරීරයේ බලය ඇතිකරන පුෂ්ටිමත් කරන, කාමෝත්තේජන ප්‍රතිඵල ලබාගැනීම සදහා නිෂ්පාදිත ඖෂධ වල අඩංගු වේ.

අමුක්කරා ප්‍රභේද දෙකෙන් ශරීරයේ අභ්‍යන්තරයට දීමට භාවිතා කරන්නේ ග්‍රාම්‍ය වර්ගයයි. වාත රෝග, අපස්මාර යනාදියෙහි ලේප සදහා යොදාගනු ලැබේ. වල් අමුක්කරා වල අල්ප ප්‍රමාණයක වුවද ක්‍රියාකරන මදකාරක විෂ විශේෂයකි. විෂ ඉවත් කර භාවිතයට ගත හැකිය.

විවිධ ඖෂධ තැනීම සදහා අමුක්කරා යොදාගනී. ඒ අතර අශ්වගන්ධාරිෂ්ටය, අශ්වගන්ධ චූර්ණය, අශ්වගන්ධ තෙල් ආදිය ප්‍රධාන වේ.

අමුක්කරා භාවිතයෙන් තැනෙන අත් බෙහෙත්

තද වමනය සදහා -
අමුක්කරා අල, නාමල් රේණු, තිප්පිලි, රැත්ත, විළද, ත්‍රිසුගන්ධ (ත්‍රිසුගන්ධ යනු එනසහල්, කුරුදු පොතු සහ කොල්ලන් කොළයි) සම ප්‍රමාණයෙන් ගෙන කුඩුකර මීපැණි සහ සීනි දමා කළවම් කර (දියාරුවට) අල්ලට දමා දිව ගාමින් කෑමට දෙන්න.

සර්ප විෂට -
අමුක්කරා කොළ, පොතු, ගෙඩි, මුල් කොටා මිරිකාගෙන ඉස්ම අරගන්න. මෙම යුෂට එළු මුත්‍ර ස්වල්පයක් මිශ්‍ර කර අඩු කෝප්ප බාගයක් පමණ බීමට දෙන්න. එමෙන්ම එයම දෂ්ට කළ ස්ථානයේ ගල්වන්න. මෙම අත බෙහෙත සියලුම සර්ප දෂ්ටනයක් අවස්ථාවකම සුදුසු ප්‍රතිකර්මයකි.


බලසම්පන්න ජාතියක් ඇතිවීමට නම් නීරෝගී බව නියත සාධකයකි. එයට මහා පිටිවහලක් ආයුර්වේදයෙන් මෙන්ම දේශීය වෙදකමෙන් ද ලබා ගැනීමට පුළුවන.

අමුක්කරා යොදාගෙන තනන බලවඩන ඔසු කිහිපයක්

  1. අමුක්කරා, කිරිබදු ඇට, වැල්මී, බිංතල් අල, නෙරෙංචි මුල්, ජටා මාංශ, වදුරු මෑ ඇට, හාතාවාරිය අල, එළ ඉඹුල් මැලියම්, නෙල්ලි කලං තුන ප්‍රමාණයට ගෙන සියුම්ව කුඩුකර ගන්න. මෙයටම සූකිරි කුඩු කලං පහළොවක් ද එකතු කර හොදහැටි මිශ්‍ර කරන්න. පිරිසිදු වියළි බෝතලයක අසුරා කලං දෙකක ප්‍රමාණය උදේ සවස වළදා එළකිරි වීදුරුවක් පානය කරන්න. 
  2. අමුක්කරා අල, කොළ, ගෙඩි සම ප්‍රමාණයෙන් ගෙන සියුම්ව අඹරා එළකිරි කාලකට දියකර බොන්න. (නෙල්ලි ගෙඩියක ප්‍රමාණය)
  3. අමුක්කරා අල, කිරිබදු අල, උදු ඇට, බිංතල අල සම ප්‍රමාණයෙන් ගෙන සියුම්ව කුඩුකර ගන්න. එයට පිටි සීනි ද දමා හොදින් මිශ්‍ර කර ගන්න. ඉන්පසු මීපැණි, පිරිසිදු එළගිතෙල් දමා කල්කයක තරමට අනා බුළු ගෙඩියක ප්‍රමාණයට ගුලි සාදා සුළං නොවදින සේ අසුරා ගන්න. මෙය උදේ සවස ගුලියක් බැගින් කා එළකිරි වීදුරුවක් පානය කරන්න. 
උපුටා ගැනීමකි.

1 comment: