Wednesday, September 25, 2019

සමේ රෝග නසන ඇත්තෝර.....





උද්භිත විද්‍යාත්මක නාමය - Cassia didymobotrya Fresen
කුලය - Leguminosae
ඉංග්‍රීසි නාමය - Winged ring worm plant
දෙමළ නාමය - වෙණ්ඩු කොල්ලි
සංස්කෘත නාමය - ද්‍ර ද්‍රැස්න
හින්දි නාමය - දද මර්දන්

ශිම්බි කුලයට අයත් ඇත්තෝර විශේෂයෙන් සම පීඩා කරනු ලබන කුෂ්ඨ, වාත රක්ත වැනි ලේ දූෂිත වීම් වැනි රෝගාබාධ රාශියකට ගුණ දෙන දිව ඔසුවකි. මෙම රෝග වලදී සම පීඩාකරන අතර ඒ හරහා සිරුර අභ්‍යන්තරයටද රෝග තත්වයන් පැතිරී යයි. මෙවන් රෝගයන් හීදී මෙම රෝගයන් වැළැක්වීම සදහා කරනු ලබන චිකිත්සා ක්‍රියාවලියේදී අභ්‍යන්තර ප්‍රතිචාර වලට අමතරව බාහිර වශයෙන් හම සුරකින ඖෂධ වර්ග යොදනු ලැබේ. මේ සදහා තෙල් වර්ග ආලේප වර්ග ආදිය මුල් තැනක් ගන්නා අතර මේවාට බහුල ලෙස යොදාගනු ලබන ඖෂධ ද්‍රව්‍යයක් ලෙස ඇත්තෝර හැදින්විය හැකිය.

තෝර වර්ග රාශියක් ඇති අතර ඒවා හැඩය, ලක්ෂණ, ගුණය අනුව ප්‍රභේද කිහිපයක් දක්නට ලැබේ. එයින් එක් ප්‍රභේදයක් වශයෙන් ඇත්තෝර හැදින්විය හැකිය. අනායාසයෙන් වැවෙන පැළෑටියක් වන මෙය ඇමරිකාව ජන්ම භූමිය කරගත් පැළෑටියකි.

මීටර් 5 ක් පමණ උසින් යුත් විශාල පදුරු විශේෂයකි. කද සහ අතු වල ඝන බූව සහිතයි. මෙහි පත්‍ර සෙ.මි. 30-60 දක්ව දිගින් යුත් අතර ආයත හැඩයෙන් යුක්තයි. පත්‍රිකා යුගල වශයෙන් පිහිටා ඇත. මෙහි පුෂ්ප දීප්‍තිමත් කහ පැහැයෙන් යුක්තවේ. කරක් සෙ.මි. 10-15 ත් අතර වන අතර බීජ විශාල ප්‍රමාණයක් ඇත. ඒව තද දුඹුරු පැහැයෙන් යුක්තයි. ඖෂධ සදහා ගනු ලබන්නේ ඇත්තෝර ශාකයේ කොළ මුල් සහ ඇටයි. ඖෂධ ගුණාකාරක වශයෙන් ඇත්තෝර ඇට සෙම හා වාතය නසයි. ඇත්තෝර කොළ වන විරේචන ගුණය පවතී. වෙනත් පලා වර්ගයක් සමග මිශ්‍රව ගත යුතුය. ඇත්තෝර කොළ ලේ පිරිසිදු කරයි. හමට හිතකරයි. දද කුෂ්ඨ කාෂ ස්වාස පහ කරන අතර අර්ශස් මලබද්ධය, ගන්ඩමාලය, කීටවිෂ, ඉරුවාරදයට ඉතාමත් ගුණදායකයි.

ඇත්තෝර ශාකයෙන් කළහැකි අත්බෙහෙත්.

  1. මී මැසි, බඹර, දෙබර ආදී විෂ්ට ඇත්තෝර දලු අමුකහ දෙහි ඇඹුලෙන් අඹරා ගාන්න.
  2. කිරි පණුවන්ට - ඇත්තෝර කොළ ගිතෙලින් මලවා කෑමට දෙන්න.
  3. ගද සහිත වන වලට - ඇත්තෝර කොළ එඩරු තෙලෙන් අඹරා වනයට තබා බදින්න.
  4. වාත, රක්ත, සන්ධි වාත අවස්ථා වලදී - එම කොළ මී තෙලෙන් අඹරා බදින්න.
  5. හොරි, දද, වන, කුෂ්ඨ වලට - ඇත්තෝර ඇට මුදවාපු කිරි වලින් අඹරා දෙහි යුෂ දම මිශ්‍ර කර සිනිදුව ගාන්න.
  6. ගණ්ඩ මාලයට - ඇත්තෝර මුල් කී කිරිදිය සමව ගෙන කොටා මිරිකා ගත් ඉස්මට අබ තෙල් දමා තෙල් සිද ගල්වන්න.
  7. කැසීම සහිත දද වලට - රාබු ඇට යුෂෙන් ඇත්තෝර ඇට අඹරා ගාන්න.
  8. ඇත්තෝර කොළ මිටක් දෙකට කපා දදයේ අතුල්ලන්න.
  9. ඉස්හොරි වලට - ඇත්තෝර කොළ කොටා මිරිකාගත් ඉස්මට දෙහි ඇඹුල් දමා අව්වේ කකාරා ගාන්න.
  10. අර්ශස් ගෙඩි වලට - ඇත්තෝර කොළ කැට ලුණු මිටක් පමණ දමා තම්බා එම ගෙඩි සෝදන්න.
  11. ඉරුවාරදයට - ඇත්තෝර දලු, උදුපියලිය, සුදුහදුන් කුඩු ඇල් දියෙන් අඹරා නලලට පලැස්තර දමන්න.
ඇත්තෝර ශාකය සං‍යෝගකර සාදනු ලබන නිෂ්පාදිත ඖෂධ
  • එඩගජාදී ලේපය - අලුහන් වලට
  • චත්‍රමර්ධ ලේපය - දද වලට
  • චක්‍රමද්ද තෛලය - ගන්ඩ මාල රෝගයට

No comments:

Post a Comment